2021 පෙබරවාරි 13 වන සෙනසුරාදා

අලුත් වෛරසයට අලුත් කළ එන්නතක්

 2021 පෙබරවාරි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 112

I සුගත් පී කුලතිංගආරච්චි 

එංගලන්තයේ සහ දකුණු අප්‍රිකාවේ සීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් 19 වෛරසය ශ්‍රී ලංකාවේදී හඳුනාගෙන ඇත. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජයවර්ධන ප්‍රකාශ කර ඇති ආකාරයට කොළඹ, අවිස්සාවේල්ල, බියගම, වවුනියාව යන ප්‍රදේශවලින් නව වෛරසය සහිත රෝගීන් හමුවී තිබේ.

එංගලන්තයේ සහ දකුණු අප්‍රිකාවේ ශීඝ්‍රයෙන් පැතිර යන මෙම වෛරස මාදිලියට සරිලන ආකාරයේ එන්නතක් මාස 07ක් තුළ ලබාදීමට හැකි බව ඔක්ස්ෆර්ඩ් සරසවියේ එන්නත් පර් යේෂකයෝ කියති. මේ වන විටත් ඇස්ට්‍රා සෙනෙකා එන්නත එංගලන්ත සහ දකුණු අප්‍රිකාවේ පැතිර යන නව මාදිලිවලට මුහුණදීමට සුදුසු පරිදි යාවත්කාලීන කිරීම අරඹා ඇති බවත් එහි සඵලතාවය වැඩිදියුණු කිරීමට පර් යේෂණ සිදු කෙරෙන බවත් ඔක්ස්ෆර්ඩ් සරසවියේ ඇන්ඩෲ පොලාර්ඩ් “නිව්සයන්ටිස්” සඟරාවට කියා තිබේ. පසුගියදා දකුණු අප්‍රිකාව තුළ තාවකාලිකව එන්නත භාවිතයෙන් ඉවත් කිරීමට කටයුතු කරන අවස්ථාව වන විටත් ඔක්ස්ෆර්ඩ් පර්යේෂකයන් නව තත්ත්වයට සුදුසු පරිදි එන්නත වැඩිදියුණු කිරීම අරඹා තිබුණි.

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත මාත්‍රා 02ම ලබා දුන් විට සියයට 82ක සඵලතාවක් පෙන්වන බව නවතම වාර්තා මේ වන විට සනාථ කර ඇත. නව වෛරස මාදිලිය මර්දනයට වැඩිදියුණු කරන්නට යන්නේ මෙම එන්නතමය.